රටක් හඩ නගා උස් හඩින් ඉල්ලන දේවල් මොනවා ද?


රට ඉල්ලන වෙනස කුමක් ද?

නිදහසෙන් පසු වසර 74ක් රට පාලනය කළ කොළ, නිල්, රතු සහ කහ ආණ්ඩු හොදට ම කර ඇති බව දැනට රට මුහුණ පා සිටින තත්ත්වයෙන් පැහැදිළිව පෙනේ.  මෙම කාලසීමාව තුළ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට යහපතක් වන අයුරු යන්තමින් හෝ  සකස් වූයේ 1972 දී පමණි.  

1978 ව්‍යවස්ථාව හුදෙක් එක්සත් ජාතික පක්ෂයේ පැවැත්ම උදෙසාම සකස් වූවකි.  අද්‍යතන සමාජ ආර්ථික ප්‍රශ්නරැසකට හේතු වී ඇත්තේ ද, රට බංකොලොත්භවයට පත් කර ඇත්තේ ද ජේ.ආර්ගේ මෙම ඊණියා ව්‍යවස්ථාව හේතුවෙනි.  රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය සදහා එහි කිසිදු සංශෝධනයක් සිදු වී නැතත් එය වාර 20ක් මේ වනවිට එය සංශෝධනය කර තිබේ.  

ඉන්දියාවේ ඉල්ලීමට අනුව 13 වන සංශෝධනය ගෙනාවත්, උපක්‍රමශීලී ලෙස රට දෙකඩ කිරීමට එය හේතුවක් වී තිබේ.  උතුර හා නැගෙනහිර එක් කිරීම ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයේ ද ඉල්ලීම වූ අතර, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊට නෛතික රැකවරණය සැපයී ය.  අනෙක් අතට උතුරු නැගෙනහිර අර්බුදය සමහන් කිරීම පිණිස මෙම සංශෝධනය ගෙනාවත් එය මුල දී ක්‍රියාත්මක වූයේ රටේ වෙනත් පළාත්වල ය.

  “පළාත් සභා අපට එපා“ යැයි පාරම් බෑ ජවිපෙ පවා අද එය උජාරුවෙන් කර තබාගෙන යන අතර, පළාත් සභා කිසිම තේරුමකට නොමැති, ගැටලු රැසක් රටට එක් කළ සුදු අලියෙකු බව ඔප්පු කර හමාර ය.  මේ එක් ව්‍යවස්ථා සංශෝධනයක් පමණි.  මෙවැනි රටට අහිතකර විධායක ජනාධිපති ධුරය වැනි බහුබූත ඇතුළත් 1978 ව්‍යවස්ථාව ඉරා දමා රටට උචිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කරවා ගැනීම වෙනසක් පතන ජනතාවගේ එක් ප්‍රබල ඉල්ලීමකි.

කෝකිල අවන්ත හෙට්ටිආරච්චි

Comments