අමනාප නොවී මනාප පාවිච්චි කරමු.

ජේ. ආර්. ජයවර්ධන මනාප ක්‍රමය ඇති කළේ එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමට විනා පොදු පෙරමුණ දිනවීමට නොවේ.   1978 ව්‍යවස්ථාව සකස් කළේ ද එ.ජා.ප.යේ ඡන්ද පදනම පිළිබදව ඔහුට තිබූ හිවල් ඤාණය නිසාවෙනි.  සර්වජන ඡන්ද බලය ආරම්භයේ පටන් ම එක්සත් ජාතික පක්ෂයට වැටුණු ඡන්ද ප්‍රමාණය, තනි පක්ෂයක් ලබන විශාල ම ඡන්ද ගොඩ යි.

එසේම, එ.ජා.ප.යේ හිවල් ප්‍රචාරණ උපායයන් වලින් අන්දමන්ද වූ ඡන්දදායකයා 1977 දී කළ ගොංකම නිසා ඡන්ද 1,855,331ක් ලබාගත් ශ්‍රී.ල.නි.ප.ය. ආසන අටට වැටී, ඡන්ද 421,488ක් ලබාගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් දිනාගත් අතර, විපක්ෂ නායකකම අප්පාපිල්ලේ අමිර්තලිංගම්ට හිමිවිය.  රටක විපක්ෂනායකයා වන්නේ එම රටේ ඊළගට වැඩිම ජනතා බලය හිමි පක්ෂයට ය යන මතයක් ලෝකයේ තිබේ. මේ අහම්බෙන් කඩා වැටුණු විපක්ෂනායකකම නිසා, ලංකාවේ ද්‍රවිඩ ජනතාවට “වෙනම රාජ්‍යයක් අවශ්‍යය“ යන මතය ලෝකයේ ජනගත කිරීමට  මෙය කදිම අවස්ථාවක් වූයේ ය.  මනාප ක්‍රමය ඇතුළත් සමානුපාතික ඡන්ද ක්‍රමයට අත එසැවීමට සියල්ලන්ට සිදු වූයේ එහෙයිනි.

PartyCandidatesVotes%Seats
United National Party1543,179,22150.92%140
Tamil United Liberation Front23421,4886.75%18
Sri Lanka Freedom Party1471,855,33129.72%8

 මනාප ක්‍රමය මගින් කුඩා පක්ෂ පමණක් නොව, වැඩි ම ඡන්ද ගන්නා පක්ෂයට දෙවන වන පක්ෂයටත් සෑහෙන ආසන සංඛ්‍යාවක් ලැබේ.  එහෙයින් කිසි දවසක 1978 ව්‍යවස්ථාව වෙනස් කිරීමට තරම් බලයක් කිසිම පක්ෂයකට යළි නොලැබෙතැයි ජේ.ආර්. කල්පනා කළේය.  එසේම තවත් කිසි දිනෙක අමිර්තලිංගම්ලාට විපක්ෂනායකකම් ගන්නට ද නොහැකි වන සේ ජේ.ආර්. 1978 ව්‍යවස්ථාව තැනුවේ ය. (යහපාලන හරක් නඩය කළ ගොංකම නොවන්නට පසුගිය වසර හතරාමාරේ වුව විපක්ෂනායකකම ද්‍රවිඩ සංධානයට හිමි නොවේ.)

  1977 දී තරම් ජනතාව ගොනාට ඇන්දූ ඡන්දයක් ඇත්නම් ඒ 2015 ජනාධිපතිවරණය යි. නමුත් ඒ කිසිම අවස්ථාවක 1977 මෙන් 5/6ක බලයක් කිසිම ආණ්ඩුවකට නොලැබුණි.
අපට දැන් සිදුව ඇත්තේ හොදට හෝ නරකට මෙම මනාප ක්‍රමය යටතේ රටට එරෙහි අණපනත් හා ව්‍යවස්ථා සංශෝධන අතුගා දැමීමට 2/3 දිනා ගැනීම යි. එබැවින් රටට හිතැති ඡන්ද දායකයා රට ජාතිය ගැන සිතා තම මනාප බුද්ධිමත් ව භාවිත කළයුතු ය.
එහි දී,
  • කණ්ඩායම් නායකයා ඉහළින් දිනවීම මගින් තම දිස්ත්‍රික්කයට වැඩක් කළ හැකි බලවත් ඇමතිධුරයක් සදහා කේවල් කිරීමේ බලය ලබාගැනීමටත්,
  • පක්ෂය, රට හා නායකයා වෙනුවෙන් කැප වූ, කිසි දිනෙක තමන්ගේ මනාපය ගනිකා වෘත්තියේ නොයෙදවූ අවංක දේශපාලකයෙකු වෙනුවෙන් දෙවැනි මනාපයත්,
  • තමන්ගේ පළාත, දිස්ත්‍රික්කය, ඡන්ද කොට්ඨාසය වෙනුවෙන් කැප වූ, බුද්ධිමත් වෘත්තිකභාවයක් සහිත, තමන්ට සෘජුව ආමන්ත්‍රණය කළ හැකි විශ්වාසවන්ත අයෙකුට තෙවන මනාපයත් පළ කිරීමෙන් ජාතික වගකීම ඉටු කළ හැකි ය.
එක් අපේක්ෂකයෙකු කර තබාගෙන යාමෙන් හෝ තනි මනාපයක් දීමෙන් ලැයිස්තුවේ අග සිටින අපේ මනාපය පාවාදුන්, අප අකමැති ම ගහලයෙකුට පාර්ලිමේන්තුවේ දොර විවර වනු ඇත.  

@කෝකිල අවන්ත හෙට්ටිආරච්චි.

Comments